”ගැලීලියෝ හා හඳගමලා”

Posted by හර්ෂා On Sunday, October 24, 2010 0 comments


          විමුක්ති ජයසුන්දර, අශෝක හඳගම හා ප‍්‍රසන්න විතානගේ සමාජ ඛේදවාචකයන් රූපමය භාෂාවක් තුළින් විග‍්‍රහ කිරීමට යාමේදී අසම්මතය තුළ ලේබල් ගසනු ලැබුවේ වරක් දෙවරක් නොවේ. උපුල් ශාන්ත සන්නස්ගල මේ විග‍්‍රහයට වටිනා කමක් දීමට ගොස් ඛේදවාචකයේම සනාතන ගොදුරක් බවට පත් විය.
         චිත‍්‍රපටයෙන්, ටෙලි නාට්‍යයෙන් හා වේදිකාවෙන්, වසන් කරනු ලැබූ සමාජ යතාර්ථයන් ප‍්‍රතිනිර්මාණය කිරීමක් ලාංකීය පේ‍්‍රක්ෂකයන් කිසි දිනෙක අත් නොවිඳි නිසාම ඉහත කී චරිත තාප්ප පුරා ”wanted” ලේබලය යටතේ ප‍්‍රසිද්ධියට පත් විය.
         ”සුළඟ  එනු පිණිස” කුළුඳුලේම රිදී තිරයෙන් සමාජ ගත කිරීමට දැරූ වෑයම තුළ විමුක්තිගේ විභවයන්ට කිසිඳු ඉඩක් නොතබාම සමාජය ඔහු අඳුරු තිරයක සිර ගත කරන ලදි. ඔහු දකින කෝණය කුමක්ද යන්නවත් තීරණය කිරීමට අවස්ථාවක් නොදී ඔහු වේදිකාවෙන් බැස ගියේ ලාංකීය පේ‍්‍රක්ෂකයන්ගේ අත්පොළසන් හ`ඩ මධ්‍යයේය.
         ”අක්ෂරයෙන්” නූගත් පාඩමක හෝඩිය කියා දෙන්නට ගත් උත්සහය නිසා ”හඳගමට” පාඩමක් ඉගැන්වීමට සියල්ලෝම වග බලා ගත්හ. එනයින්ම හඳගම ලාංකීය පේ‍්‍රක්ෂකයන් සුළුතරයකගේ වීරයකු බවට පත් වූයේ සැබැවින්ම මෙවැනි දේ සිදුවන බව පිළිගන්නා කිහිප දෙනෙක් හෝ සිටින බව හඳගමටවත් විශ්වාස කළ නොහැකි සන්දර්භයක් තුළය.
          පෙර කී චරිත දෙක තරම්ම නොවූවද ”පුර හඳ කළුවර”, ”ඉර මැදියම”, ”මචං” හා මෑතකදී සම්භාවනාවට පාත‍්‍ර වූ ”ආකාස කුසුම්” තුළින් වුව ප‍්‍රසන්න කතා කරන්නේද ”හිරිකිත” සංස්කෘතික තේමාවන් ගැනය. එනයින්ම ප‍්‍රසන්න විතානගේ ද වර්ගීකරණය වී ඇත්තේ සම්මතවාදී අසම්මත වර්ගයටය.
          සලමන් රුෂ්ඩි සහ තස්ලිමා නස්රින් ඉස්ලාම් ධර්මයට ජාතක වී උපන්නද  ”සැටනික් වර්සස්” හා ”ලජ්ජා” රචනා කොට දාරකයා ඝාතනය කළ දරුවන් ලෙස ඉස්ලාම් ප‍්‍රජාව තුළ ගර්හාවට ලක් විය. නමුත් බටහිර ප‍්‍රජාව මොවුන් දෙදෙනා රක්ෂා කරන්නේ පෙරදිග වසා පැතිරෙන ”සංස්කෘතික තුච්ච භාවය” ලොවට කියා පෑමට නොබියව ඉදිරිපත් වූ වීරයන් දෙදෙනෙකු ලෙසිනි.
විමුක්ති, හඳගම හෝ ප‍්‍රසන්න සිටින්නේ රුෂ්ඩි හෝ තස්ලිමා සිටින සන්දර්භය තුළ නොවේ. මොවුන් දෙදෙනා වරදක් කොට ඇති බව කියන පිරිස එය වරදක් නොවන බව කියා සිටින පිරිසට වඩා අති විශාලය. නමුත්, හඳගමලා අසම්මත ලේබලය යටතේ කොන් කර තැබීමට ඔවුන් කර ඇති වරද කුමක්ද?
සමලිංගිකත්වය, ව්‍යභිචාරය හෝ මව හෝ පියා විසින් දරුවන් අපයෝජනය කිරීම වැරැද්දක් වන්නේ දුප්පත්, නූගත් හෝ සමාජමය බල පුලූවන් කාර කමක් නොමැති පුද්ගලයන් විසින් සිදු කළහොත් පමණද? මෙවැනි ක‍්‍රියා අසම්මත වන්නේ සහේතුකවය. ඒවායින් ඇතිවන අනිසි බලපෑම සලකා බලා මෙවැනි චර්යාවන් දඩුවම් ලැබිය යුතු වැරදි බවට පත්ව තිබීම නිවැරදි බව අපිද අවිවාදයෙන් පිළිගනිමු. එසේම එම වැරදි කවුරුන් විසින් සිදුකළද වැරදිම බව අපි මතක් කර දෙන්නෙමු.
විමුක්තිලා, හඳගමලා උත්සහ ගත්තේ සියළු දෙනාට වැරැදි ලෙස පෙනී යන මෙවන් ක‍්‍රියා ඔවුන්ද වැරදි ලෙස දකින බව පෙන්වීම මිස වෙනකක්  ද? නමුත්, ඔවුන් කළ වරද වන්නේ රිදෙන තැනටම ගැසීමයි.
පාසල් ශිෂ්‍යයන් දෙදෙනෙකු සිදු කළත් රාජ්‍ය අනුග‍්‍රහය ලබන හමුදාවක සොල්දාදුවන් දෙදෙනෙකු සිදු කළත් වරද වරදමය. රෑ බෝවී කටගොන්නක් බී ගෙන පැමිණෙන පියා තම දියණිය බලහත්කාරයෙන් ඇඳට ගැනීමත් මහේස්ත‍්‍රාත් මව නාන කාමරයේදී තම සිඟිති පුතාගේ රහසඟ  රාග සිතින් ස්පර්ශ කිරීමත් අතර වැඩි වෙනසක් තිබේද? පුද්ගල ක‍්‍රියාකාරීත්වයන් හරි හෝ වැරදි වන්නේ බලය හෝ සමාජ පන්තිය මතද?
මේ ක‍්‍රියා කාරීත්වයන් මනෝ විද්‍යාත්මක පදනමක සිට විග‍්‍රහ කරන්නේ නම් එළඹීමට සිදුවන්නේ මීට හාත්පසින්ම වෙනස් නිගමනයකටය. එනම්, සියලූ ජීවීන්ට ලිංගිකත්වය නැමැති ප‍්‍රාථමික අවශ්‍යතාවයක් ඇත. එම නිසා මේ සියලූ ක‍්‍රියාකාරීත්වයන් අවස්ථාවෝචිත පරිදි සාධාරණ හා ස්වභාවික වන බවයි.
ආර්ථික, සමාජ, දේශපාලන හා සංස්කෘතික මෙන්ම මනෝ විද්‍යාත්මක වපසරීන් ගැන විශ්ලේෂණය කොට නිර්මාණය කරන ලද කෘතීන්ද යන්න නොදන්නා නමුත් මේවායින් පෙන්වන්නේ සමාජ යථාර්තයන් ම බව නම් මොනවට පැහැදිලිය. එසේ නම් සිදු කළ යුත්තේ මෙවන් දෑ සිදු වන පසු බිමට පිළියම් නොකොට සිදුවන දේ පෙන්වීමේ වරදට හඳගමලා විමුක්තිලා දඟ  ගෙට යැවීමද?
  


0 comments:

Post a Comment