යුද්ධය අවසන් අදියරේදී රජයේ ආරක්ෂාව පතා පැමිණි ලක්ෂ 3 ක් වූ අවතැන් ජනයාගෙන් දෙලක්ෂ හැත්තෑපන්දහසක් යළි පදිංචි කොට අවසන් බව රජයේ සංඛ්‍යාලේඛන අවධාරණය කරයි. රජයට අනුව මේ යළි පදිංචිකිරීමේ කටයුත්තේ අවසාන අදියරේදී අළුත් ගැටළුවකට මුහුණපාන්නට ඔවුන්ට සිදුවී තිබේ. ඒ යාපනේ තම ඉඩම් අයිතිය ඉල්ලමින් යාපනය දුම්රිය ස්ථානයේ ලැගුම් ගෙන සිටින 400 ක් පමණ වූ සිංහල ජනතාවගේ ප‍්‍රශ්නයයි. භීෂණකාරී කළු ජූලියේ තවත් අතුරු ඵලයක් ලෙස වසර තිහක් ගතවී ඇතත් මොවුන්ගෙන් ඇසෙන මේ අඳෝනාව කියා පාන්නේ අප වරද්දා ගත් රටේ ඉරණම වෙනස් කළ තවත් එක් සංධිස්ථානයක් පමණක්ම නොවේ. මෙය රටේ අනාගත ඉරණමද වෙනස් කළ හැකි ඓතිහාසික සංධිස්ථානයක්ද වනු ඇත. මන්ද පශ්චාත් යුධ ශ‍්‍රී ලංකාව යළි ගොඩ නැගීමේ කටයුත්තේදී බලධාරීන්ට අමතක වූ සමාජීය සංවර්ධනය නැමැති අත්‍යවශ්‍ය කර්තව්‍යයේ පළමු අතපසු වීම ලෙස මෙය සටහන් වන බැවිනි. අමතක වීම විනාශය ගෙන දෙන්නක් බව රජයට වැටහී ඇත්තේ වසර තිහකටත් අධික කාලයක් එකම බලාපොරොත්තුවක් මත ජීවත් වූ මෙම ජනතාව තම අයිතීන් වෙනුවෙන් අවස්ථාවක් ලැබුණු සැණෙකින් අරගල කරන්නට පටන් ගෙන ඇති මේ මොහොතේදී ය. මෙවන් ගැටළු යුද්ධයකින් අනතුරුව  ඕනෑම රටකට සමාජයකට පොදු බව දැන උගත් ආණ්ඩුවේ ඇත්තන්ට අමුතුවෙන් කිව යුතු නැත. රජයට අනුව ශ‍්‍රි ලංකාව පරාජය කළේ ලෝකයේ බිහිසුණුම ත‍්‍රස්තවාදීන් කොට්ඨාශයයි. දැන් එකඳු කොටියකු ලංකාවේ නැත. දැන් කළ යුත්තේ විනාශ වූ සමාජය යළි නගා සිටුවීමයි. ලෝකයේ පවතින හොඳම යුධ මෙවලම් හා උපායන් යොදා ගනිමින් යුද්ධය ජය ගත්තේ සිංහලයින් යුද්දෙටම උපන් ජාතියක් බව ලෝකයට පෙන්වමිනි. යුද්ධය දිනන සාස්තරය දැන ගත් පමණින්ම ජනතාව දිනා ගත නොහැකි බව ආණ්ඩුවට වටහා දෙන්නට මේ මිනිසුන් සමත් වී තිබීම සතුටට කරුණකි.
        මේ මිනිසුන් මහා නිර්භීත පිරිසක් බව නම් පිළිගත යුතුව ඇත. මන්ද හිඟන්නන් බල්ලන් පවා මහ මග මරා දමන රටක තමන් ගේ හඬට කන් නොදීම නිසා යාපනය දුම්රිය ස්ථානයට විත් එහි රැඳී සිටිමට ගත් තීරණයම මොවුන්ගේ නිර්භීත භාවය ඔප්පු කරන්නක් වන බැවිනි. යාපනය දුම්රිය ස්ථානයේ මොවුන් එක් වරම ලැගුම් ගත්තේ නැත. යාපනය දිසාපතිනිය මෙන්ම ඩග්ලස් දේවානන්ද මැතිතුමා පවා මෙම මිනිසුන් තමන්ට සාධාරණයක් බලාපොරොත්තු වන බව දනිති. වරක් දෙවරක් තම මානුෂීය ගැටළුව රජයට දන්වා සිටියද මොවුන්ගේ ගැටළුව ලෝකයා දැනගන්නේ මොවුන් දුම්රිය ස්ථානයේ නවාතැන් ගැනීමත් සමඟිනි. මෙය අනෙක් ප‍්‍රශ්න වසා දැමීමට රජය ගන්නා පියවරකින්ම අහවර කිරීමට ආණ්ඩුවට කාලයක් නොදීම නිදහස, සාමය, අයිතීන් අපේක්ෂා කරන අනෙකුත් ජනතාවට හොඳම ආදර්ශයක් වනු ඇත. නමුත් පාඨලී චම්පික රණවක මැතිතුමාට අනුව නම් මොවුන්ගේ නිර්භීත කම වන්නේ යාපනයට ගොස් තම අයිතිය ඉලිලීමයි. සිංහලයින් මේ දෙමළ ජනතාවගේ බිම් වල පදිංචි කරවීමට පොටක් සොයමින් සිටි ඉහත සඳහන් කළ ඇත්තන්ට නම් මෙය ඔවුන්ගේ ජාති වාදී වර්ගවාදී දේශපාලන මතවාදයන්ගෙන් වාසි ලබා ගත හැකි හොඳම අවස්ථාවකි. ඒ නිසා ඔවුන් ප‍්‍රකාශ කරන්නේ කෙසේ හෝ මොවුන්ට යාපනයේ ඉඩම් වලට ඇති අයිතිය තහවුරු කර දෙන බවයි.
         අධිරාජ්‍යවාදීන් මේ සිංහල රටේ දෙමළාට කිසිවක් නැතිවනු ඇතැයි දැන සිටි නිසාදෝ ඔවුන්ට දායාද කොට ගිය තේසවලමේ නීතියේ බලෙන් ඔවුන්ට යාපනේවත් ඉන්නට ලැබී ඇත. මෙය සර්ව සාධාරණ නීතියක් ලෙස සාධාරණීකරණය කළ නොහැකි වුවත් දෙමළ ජනතාවට මේ රට තුල මේ තරමින් වත් ඉඩක් ලැබුණේ මෙම නීතියේ මහිමයෙන් බව නම් කිව යුතුමය. ඔවුන් ඒ පීඩනය පිට කළේ උතුරු නැගෙනහිර වෙනම රාජ්‍යයක් ස්ථාපිත කිරීම වෙනුවෙන් යුද්ධ කිරීමට තීරණය කිරීමත් සමගිනි. පරාජය වූයේ ඔවුන් ඒ සඳහා අනුගමනය කළ මාර්ගය මිස ඔවුන්ගේ මතවාද නොවේ. රජය අර අදින්නේ බලහත්කාර සිංහල ජනපදකරණයකට නම් එය අනාගත පරපුරේ නාමයෙන් නවතා දැමිය යුතුය. යාපනයේ ඉඩම් සිංහලයින්ට මිලයට ගත නොහැක. යාපනේ දිසාපතිනිය ප‍්‍රකාශ කරන්නේ මොවුන්ට දීමට රජයට අයත් ඉඩම් ද ඉතිරිව නොමැති බවයි. තිබූ බිම් කොටස් ද විදේශීය හා දේශීය ආයෝජකයින්ට විකුණා තිබේ. දැන් මොවුන්ට දෙන්නේ කාගේ ඉඩම්ද? කෙසේ හෝ මොවුන්ට යාපනේ ඉඩම් වල අයිතිය ලබා දෙන බව රජය ප‍්‍රකාශ කරයි. ඒ කෙසේද?
         අමතක කළ නොහැකි ඉතිහාසයක් ද අපට ඇත. අප ජීවත් වන්නේ ඡන්ද අයිතිය අහිමි කරනු ලදුව බුරුතු පිටින් රටින් නෙරපා හැරි ජනතාවක් ජීවත් වූ රටකය. යුධ සමයේ කොළඹ තාවකාලික ලැගුම් හල් වල හෝ රැඳී සිටීමේ අයිතිය අහිමි කරනු ලැබූ ජනතාවක් වෙසෙන රටකය. දකුණේ සරසවි වලට පැමිණි දෙමළ සිසුන්ගේ හා යාපනය සරසවියට ගිය සිංහල සිසුන්ගේ අධ්‍යාපන අයිතිය රැක දීමට අසමත් වූ ජාතියක් වෙසෙන රටකය. ඒ ඉතිහාසයේ වැරදුණු තැන් ය. ඒවාට විපාක වින්ද අප තව දුරටත් වරදා ගත යුතුද?
    ආර්ථික දේශපාලනික සංස්කෘතික සාමාජීය යන මේ සෑම අතකින්ම බංකොලොත් වූ කලාප වලට ඒවා අත් හැර දමා ගිය ජනතාව නැවත පැමිණෙනු ඇතැයි අපේක්ෂා කළ නොහැක්කක් වුවත් මේ සිංහල ජනතාව ඒ ප‍්‍රදේශ වල පදිංචි වීමට ඉදිරිපත් වී ඇත. මෙය යහපත් ප‍්‍රවනතාවයක් වුවත් ඇතිවී තිබෙන ගැටළුව විසඳීමට සාධනීය ප‍්‍රවේශයක් ගත යුතුය. මොවුන් යාපනයට පැමිණියේ කිසිවකුගේ උසි ගැන්වීමක් මත නොවන්නේ නම් මෙය ඇත්තෙන්ම යහපත් ප‍්‍රවනතාවයකි. එසේ නොවී දේශපාලන වාසි තකා කිසිවෙකු මොවුන්ව භාවිතා කරන්නේ නම් මොවුන් පැමිණියේ ස්ව කැමැත්තෙන් නොවේ නම් මොවුන්ව මේ පළාත් වල පදිංචි කරවීමේ කිසිඳු ප‍්‍රතිඵලයක් නැත. මෙතෙක් කලක් වසර තිහකට ආසන්න කාලයක් මෙම මිනිසුන් නොකා නොබී ජීවත් වූයේ නැත. ජීවත් වීමට ආදායම් මාර්ගයක් කෙසේ හෝ සරි කර ගන්නට ඇත. ඇතැමෙක් ස්ථිර පදිංචිය සඳහා මෙතෙක් ජීවත් වූ ප‍්‍රදේශම තෝරා ගන්නට ඇත. එසේ හෙයින් මොවුන්ගේ මේ පැමිණීම ප‍්‍රතිඵල දායක වනු ඇතැයිද ඔවුන් අපේක්ෂා කරයි. ඒ නිසා මොවුන්ගේ අසරණ භාවයෙන් ප‍්‍රයෝජන ගැනීමට කිසිඳු පාර්ශවයකට ඉඩ නොදිය යුතුය.
          තව දුරටත් මොවුන්ගේ පැමිණීම යුද්ධයෙන් පීඩා විඳිමින් වුවත් ඒ පලාත් හැර දමා නොගිය ජනතාවගේ නිදහසේ ජීවත් වීමේ අයිතියට බලපෑමක් ද නොවිය යුතුය. මොවුන්ව පදිංචි කරවන්නේ දෙමළ ජනතාවගෙන් බලෙන් ලබා ගත් හෝ ඉවත් වීමට බලකරනු ලැබ ඩැහැ ගත් ඉඩම් වල නම් යහපත් ප‍්‍රතිසංවිධානයක් කෙසේ වත් බලාපොරොත්තු විය නොහැක. යාපනේ ඉඩම් ගැටළු ඇත්තේ මේ සිංහලයින් කිහිප දෙනාට පමණක් නොවේ. ඒ ප‍්‍රදේශ වල දෙමළ ජනතාවටද මේ ගැටළු මේ ආකාරයෙන්ම බල පැවැත්වෙයි. එම නිසා විසඳිය යුත්තේ සිංහලයින්ගේ ප‍්‍රශ්න පමණක් නොවේ. පොදුවේ නොවිසඳී ඇති ඉඩම් ගැටළු නිරාකරණයට කොමිෂන් සභාවක් ස්ථාපිත කළ යුතු යැයි යෝජනා කළ හැක. පැරණි අයිතිකරුවන් හා අළුතින් පදිංචි වූවන් අතර එකඟතාවයක් ඇතිකිරීමට බලය ඇති හෝ විකල්ප ඉඩමක් හෝ දේපලක් නැත්නම් අවම වශයෙන් වන්දියක් හෝ ලබා දී සියළුම පාර්ෂවයන්ට ජයග‍්‍රාහී විසඳුම් ලබා දිය හැකි දේශපාලන අතපෙවීම් වලින් වියුක්ත වූ සියළු වාර්ගිකයින් නියෝජනය වන කොමිසමක් පත් කොට මොවුන්ට විසඳුමක් ලබා දෙනවා මිස සුළුතරයකගේ අයිතීන් වෙනුවෙන් බහුතරයකගේ අයිතීන් උල්ලංඝනය නොවන බවට වග බලා ගත යුතුය.
         මෙවන් ගැටළු  ඕනෑම යුද්ධයකින් පසුව බලාපොරොත්තු විය යුතු වුවත් මේවා හොඳින් කළමණාකරණය නොකිරීම නිසා විනාශ වී ගිය ජාතීන් පිළිබඳ ලෝක ඉතිහාසය  ඕනෑතරම් උදාහරණ සපයයි. එම නිසා මේ අහිංසක ජනතාව තක්කඩි දේශපාලනයේ, සුළුතරයකගේ තාවකාලික  සංතෘප්තියේ ගොදුරක් වීමට ඉඩ නොතැබිය යුතුය.        
        
    

0 comments:

Post a Comment