ෆෙඩි‍්‍රකා සැන්ඩ‍්‍රා කාමෙලා ජෑන්ස් පත්තර කලාවේ නම ගිය චරිතයකි. මෙතෙක් පත්තර කාරයින් ඇතුළු මාධ්‍ය සගයින් හා එක් පන්තියක් පමණක් හැඳින ගෙන සිටි මැය පිළිබඳ දැන් ලංකාවේ නොදන්නා අයෙක් නැත. පෙරළිකාර පත්තර කලාවේ නව ඉමක් සටහන් කරමින් මැය පත්තර කාරයින්ට උගන්වන පාඩම සුළුවෙන් තැකිය නොහැක. මාධ්‍ය කලාවට ස්වයං විවේචනය කෙතරම් වැදගත්ද යන්න මතක් කර දීමට ෆෙඩි‍්‍රකාට සිදුවී ඇත්තේ මෙතෙක් එවන් භාවිතයක් පිළිබඳ නිදර්ශනයක් සැපයීමට ලංකාවේ මාධ්‍ය අසමත් වූ බැවිනි.
          ෆෙඩි‍්‍රකා පසුගිය වසරේ දෙසැම්බර් මස 13 වන දා Sunday leader පුවත්පතට ප‍්‍රවෘත්තියක් ලීවාය. පුවත ප‍්‍රධාන සිරස්තලය ලෙස මුද්‍රණය විය. එහි සඳහන් වූයේ Gota ordered to shot them යනුවෙනි. උපුටා දැක්වීම Sarath Fonseka යනුවෙන් සටහන් විය. මෙය විශාල මතභේදයකට තුඩු දිය හැකි බව ඇය දැන සිටියාය. එය එසේම විය. නමුත් ඒ ඈ අපේක්ෂා කළ පරිද්දෙන් නොවේ. නමුත් එකට සවුදිය පිරූ පිරිස් සී සී කඩ විසිරවීමට ඇය සමත් විය.
          ත‍්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ විභාග වන සුදු කොඩි නඩුවේ නිමිත්ත උපදින්නේ එතැනිනි. නඩු විභාගය අවසන් වනු ඇත. තීන්දුවක්ද ලැබෙනු ඇත. මාධ්‍ය ඉතිහාසයේ තවත් පිටුවක් පෙරළෙනු ඇත. නමුත් මේ පෙරළෙන පිටු වල ලියැවුණු පාඩම් ශ‍්‍රී ලංකාවේ මාධ්‍ය කවදා ඉගෙන ගනීවිද? ඉතිහාසයෙන් පාඩම් ඉගෙන ගත්තා නම් ෆෙඩි‍්‍රකා අද උසාවි නොයනු ඇත. මන්ද ඇයගේ මාධ්‍ය භාවිතාවම මීට පෙරද ඇයට පාඩම් උගන්වා ඇති බැවිනි.
          ඇය මාධ්‍ය නම් අවිය අවභාවිතා කළේ වරක් දෙවරක් නොවන බව ඇයම පිළිගෙන තිබේ. පසුගිය දිනෙක අධිකරණය ඉදිරියේ සාක්ෂි දෙමින් සිය ලජ්ජා සහගත හැසිරීම් උජාරුවෙන් වනන අයුරු කාටත් දැක ගත හැකි විය.
          අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට වරදකරු වී තමන් කොන්දේසි විරහිතව අධිකරණයෙන් සමාව ගත් බව ඇය විත්තියේ හරස් ප‍්‍රශ්නයකදී පිළිතුරු දෙමින් කියා සිටියාය.
සුදුකොඩි නඩුව හැරුණුකොට විවිධ පාර්ශවයන් විසින් ඇයට විරුද්ධව පවරා ඇති තවත් නඩු තුනක් ද විභාග වෙමින් පවතී.
          ඉන් නඩු දෙකක් ම ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ විසින් පවරන ලද ඒවාය. සුදුකොඩි නඩුවේ ද ප‍්‍රධාන පාර්ශවකරුවෙකු ලෙස ගෝඨාභය රාජපක්ෂ මහතා පෙනී සිටී.
          යුද්ධය පැවති සමයේ යුධ විරෝධී මතයක හිඳිමින් ආරක්ෂක ලේකම් වරයාට විරුද්ධව අපකීර්තිමත් ප‍්‍රකාශ සහ අසත්‍ය කරුණු ඇතුලත් පුවත් Sunday leader පුවත්පතේ ඵල විය. ගෝඨාභය රාජපක්ෂ පිළිබඳ අපකීර්තිමත් දේ නොලියන බවට අධිකරණය ඉදිරියේ ඇය පොරොන්දු විය. පොරොන්දුව කඩ කිරීම නිසා ගෝඨාභය රාජපක්ෂ නැවතත් ඇයට විරුද්ධව නඩු පැවරීය. දැන් ඇය සිටින්නේ ඇප මතය. ගල්කිස්ස උසාවියේ තවත් නඩුවක් විභාග වෙමින් පවතී. එයද තමන් පිළිබඳව අසත්‍ය තොරතුරු ඵල කිරීම සම්බන්ධයෙන් ගෝඨාභය රාජපක්ෂ විසින් ෆෙඩි‍්‍රකා ජෑන්ස්ට එරෙහිව ගොනු කරන ලද්දකි. මෙනයින් බැලූ කළ ෆෙඩි‍්‍රකා හා ගෝඨාභය අතර පරස්පර විරෝධීතාවක් පැවති බවට ප‍්‍රස්තුතයක් ගොඩ නගා ගත හැක.
            සුදුකොඩි පුවතෙන්ද ඇය අපේක්ෂා කළේ ගෝඨාට ගේමක් දෙන්නට විය හැක. එය හරියට වැඩ කළේ නම් ගෝඨා අද සොයා ගන්නටත් නැත. ෆෙඩි‍්‍රකාට උවමනා වන්නට ඇත්තේද එයයි. ආරක්ෂක ලේකම් වරයා ජාත්‍යන්තර නීතියට පටහැනි නියෝග දෙමින් ලෝක සම්මතයන් උල්ලංඝනය කළ බව කියා ගෝඨාභය කෙරෙහි ඇති තම වෛරය පිට කර ගෝඨාභය කරලියෙන් අතුගා දැමීමට ඇයට අවශ්‍ය වන්නට ඇත. ඇය තම පෞද්ගලික අභිමතාර්ථයක් වෙනුවෙන් මාධ්‍ය සදාචාරය බල්ලාට දමා කටයුතු කර ඇත.
          මාධ්‍යයේදී ඇයට විශාල බලයක් තිබූ බව අවිවාදිතය. ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදිනියක් ලෙස ඇයගේ භාවිතාවට වි‍රෝධය එල්ල කිරීමට වෙනත් බාහිර පාර්ශවයක් රටේ නොමැත. මන්ද ඇය සිදු කරන දෙයින් අගතියට පත් පාර්ශවයන්ට අධිකරණයට ගොස් ඒ වෙනුවෙන් සාධාරණයක් ඉටු කර ගත හැකි වුවද ඇයගෙන් මාධ්‍යයට හා එහි අනාගත ගමන් මගට වන අගතිය වෙනුවෙන් හ`ඩක් නගන්නට කිසිවෙකු නොමැති වනු ඇත. එම නිසා ඇය වැන්නන්ගේ භාවිතාවන් හමුවේ මුනිවත රකින මාධ්‍ය කරුවන්ට කීමට ඇත්තේ මෙය තමන් විසින් අහිමි කර ගන්නා තම නිදහස වෙනුවෙන් නැගී සිටීමට  අවස්ථාවක් කර ගත යුතු බවයි.
          අතීතය කියාදෙන්නේ ඇය වැරදි නිවැරදි කර නොගන්නා බවයි. එසේ නම් තව දුරටත් මාධ්‍ය තුළ ඇයගේ අනාගතය සාක්ෂාත් කර දීම මාධ්‍ය කරුවන් විසින් සියතින් ගෙල සිඳ ගැනීමක් වනු ඇත.
          මාධ්‍ය කරුවන් සිතන්නේ තමන්ට විරුද්ධ වන්නේ දේශපාලකයින් නැත්නම් පොලීසිය පමණක් කියා නම් ඒ පිළිබඳ තවදුරටත් සිතා බැලිය යුතු කාලය එළඹ ඇති බව කිව යුතුය. මාධ්‍යයේ පැවැත්ම රැඳී ඇත්තේ ජනතා විශ්වාසය මත නිසා මෙවන් පටු අරමුණු වෙනුවෙන් තම වෘත්තිය නින්දා සහගත ලෙස බිලි දෙන පිරිස් තම රැහෙන් පන්නා දමා ගෝත‍්‍රය පවිත‍්‍ර කර ගතයුතුය. ලිප්ටන් වට රවුමට රැස්වී කොටුව දුම්රිය පොළ ඉදිරියට රැස් වී තමන්ට ද්‍රෝහි වන තමන්ගේ උන්ට විරුද්ධව මුලින් පෙළපාලි යා යුතුය.
රංජිත් ගුණවර්ධන රාවයේ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදියෙකු වශයෙන් කේ පී පිළිබඳව හෙළ උරුමයේ මතය මූලාශ‍්‍ර රහිතව ඵල කොට ආචාර ධර්ම කඩ කිරීමේ වරදට දඩුවම් ලැබුවේ උසාවියකින් නොවේ. ස්වයං නියාමනයකට යටත්ව ඇති මාධ්‍ය ක්ෂේත‍්‍රයේ පැවැත්ම රඳා පවතින්නේ කොතෙක් දුරට එම යාන්ත‍්‍රණයට තමන් අවනතද යන්න මතය. ස්වයං විවේචනය දවසේ තේමාව විය යුතුවා සේම ෆෙඩි‍්‍රකා වැන්නවුන් එතරම් බලයකින් සන්නද්ධ වීමේ අනතුරද මාධ්‍යකරුවන් විසින් වටහා ගත යුතුව ඇත.         

0 comments:

Post a Comment