දිනය පසු ගිය ඔක්තොම්බර් 14 වනදා ලෙස සටහන් විය. උසස් අධ්‍යාපන අමාත්‍යංශ පරිශ‍්‍රයට කඩා වැදුණු සරසවි සිසුන්ගේ යකා නැටිල්ල ආවරණය කිරීමට ගිය මාධ්‍යවේදීන් කිහිප දෙනෙකුට ද ශිෂ්‍යයින් මර්දනය කිරීම සඳහා යොදවා තිබූ පොලිස් භටයන්ගේ පහර කෑමට සිදු විය. ජනමාධ්‍ය හා තොරතුරු අමාත්‍යංශය විසින් නිකුත් කරන ලද වරලත් ජනමාධ්‍යවේදී හැඳුනුම්පත පෙන්වද්දී ‘‘ ඕක  ඕන එකෙකුට පෙන්න ගනිල්ලා’’ යි කියමින් ජනමාධ්‍යවේදීන් යයි හඳුනා ගත් පසුවද පොලිසිය ඔවුන්ට පහර දී තිබිණි.
          සිද්ධියත් සමගින් මාධ්‍ය නිදහස උල්ලංඝනය කිරීම පිළිබඳ කතා බහ නැවතත් මතු වී තිබේ. පසුගිය 19 වනදා කොටුව දුම්රිය පොළ ඉදිරියට රැස් වූ මාධ්‍යවේදීහු පොලීසියේ මෙම අකටයුත්තට විරෝධය පාමින් කෑගසා විසිර ගියහ. පෝස්ටරයක සඳහන්ව තිබූ ඉංගිරිසියෙන් ලියන ලද ‘‘ don't kill media feeeeedom ’’ යන්න ජාත්‍යන්තර පුවත් සේවාවන් හරහා ලෝකයටම දැක ගත හැකි විය.
          පවතින රජයේ කි‍්‍රයාකාරීත්වයන්ට දසතින් විරෝධය එල්ල වෙද්දී වුවද යුධ ජයග‍්‍රහණයේ නාමයෙන් ජනපති තුමා ජාත්‍යන්තරය ජය ගනිමින් සිටින බව පෙනෙන්නට තිබේ. ඔහු ජාත්‍යන්තරය ජය ගැනීමට පෙර ජය ගත්තේ ලංකාවේ ජනමාධ්‍යයි. බහුතරයක් ජනමාධ්‍ය ආයතනයන්ගේ ලොකු පුටු වලට තම වන්දිභට්ටයින් පත් කර ගත් ඔහු ඒකාධිපත්වාදී 18 වන සංශෝධනයට විරුද්ධ වීමට මතයක් ගොඩ නැගිය හැකි එකඳු මාධ්‍යක් නිර්මාණය නොවන තැනට කටයුතු කළේය. ඔහුගේ මාධ්‍ය ජයගැනීම එතරම් ප‍්‍රබල විය. ජනපති සහ පිරිවරේ මෙම ජය තමන් වගකිව යුතු සමස්ත ජනතාවගේ පරාජයක් බව වටහා ගැනීමට එකඳු මාධ්‍ය වන්දිබට්ටයෙකුට නොහැකි විය.
          ජනතාව සිටින්නේ පීඩක රජයක පාලනය යටතේ බව ජනතාවට වැටහුණේ මහින්ද ජනපති වී මසක් දෙකක් ගත වන්නටත් පෙරය. කන්න ඉල්ලන, අඳින්න ඉල්ලන, පාසලක් ඉල්ලන දරුවන්ට, දෙමාපියන්ට මෙන්ම නිදහස ඉල්ලන මාධ්‍යවේදීන්ටද මහින්ද දුන්නේ ‘‘යුද්ධය’’ නැමැති පොදු පිළිතුරයි. හෙට අනිද්දා ඉන්දියාවෙන්ද කොටසක් අල්ලා ගන්නා තරමට ජනතාවට ජාතිවාදී බලාපොරොත්තු දෙමින් සියළු පාර්ෂවයන් නිහඬ කරවීමට ඔහු සමත් විය. මතකය අවදි කළ හැකි සෑම කල්හිම යුද්ධයෙන් පීඩා විඳි ජනතාවට එය හොඳම පිළිතුරක් විය. සියල්ලෝම රට ජාතිය වෙනුවෙන් කැපවීම් කළහ. මාධ්‍ය ද ඒ වෙනුවෙන් වෙනසක් නොමැතිව රජයට සහයෝගය දැක්වීය.
         යුධ ජයග‍්‍රහණයෙන් වසර එකහමාරක් ගතවී තිබියදී අද, රට ජාතිය වෙනුවෙන් මිනිසුන්ගේ සැබෑ ප‍්‍රශ්න වසන් කළ මාධ්‍යවේදීන්ට ඔවුන්ගේ නිදහස හිමි වී තිබේද? පිළිතුර. තමන් විමර්ෂණය කොට සොයා ගත් රාජ්‍ය දූෂණයක්, අක‍්‍රමිකතාවයක්, බලය අවප‍්‍රයෝජනයක් පිළිබඳ ප‍්‍රවෘත්තිය ජනතාවට දන්වා ගත නොහැකිව ප‍්‍රවෘත්ති කාමර වල සිටින සිතුවිලි, මතවාද මරා දැමූ වාර්තාකරුවන් මිස යුද්ධය වාර්තා කළ වර්තමානයේ  අමාත්‍යංශයන්හි මාධ්‍ය ප‍්‍රකාශක තනතුරු දරන ආකස්මික ගැත්තන් නොවේ. පසුගිය දිනෙක කොටුව දුම්රිය පොළ ඉදිරිපිට ජනමාධ්‍යවේදීන් කළ උද්ඝෝෂණයේදී වර්තමානයේ මාධ්‍යවේදීන් පත්ව ඇති පීඩනය මනාව පැහැදිලි විය. ඒ කිසිවෙකුටත් මේ තත්වයට වග කිව යුත්තේ රජය බව කියා පාන පෝස්ටරයක් ප‍්‍රදර්ශනය කිරීමට නොහැකි විය. ඔවුන් සිදු කළේ පොලිසිය පිට වරද පැටවීම පමණි. ජනතාව පීඩාවට පත් කරන්නේ පොලීසිය බව ප‍්‍රකාශ වූවා මිස පොලීසිය විධායකයේ කොටසක් බව ජනතාවට ඒත්තු ගැන්වීමට ඔවුන්ට නොහැකි විය. ‘‘ජඩ පොලීසිය’’ කියමින් මොර දුන්නද ‘‘ජඩ රජය’’ කියා කෑ ගැසීමට කිසිවෙකුත් නොවීය. කිසිවෙකුට හයියක් නොවීය.
          මර්දනයේ පමණ දන්නෝ මාධ්‍යවේදීන්ම නිසා මර්දනයෙන් බැට කන්නෝද මර්ධනයට බිය වන්නෝද මාධ්‍යවේදීන් ම බැවින් ඉදිරියටත් හයියක් ඇති මාධ්‍යවේදියෙකුට තමන්ට සිදුවන මෙවන් අසාධාරණයකදී හඬක් නැගිය නොහැකි වනු ඇත. මන්ද ජනාධිපති මහින්ද රාජපක්ෂ සිය දෙවන ධූර කාලය සඳහා දිව්රුම් දීමට නියමිතව ඇත්තේ එළඹෙන නොවැම්බර් 19 වනදා වන බැවිනි. මෙතෙක් කල් තව අවුරුදු 6 යි නේ යි කියමින් හිත හදා ගත් ජනතාවට දැන් ඒ අවස්ථාවද අහිමිව ගොසිනි. පෞද්ගලික මාධ්‍ය සඳහා ද නිසි බලධරයෙකු පත් කිරීමට 18 වන සංශෝධනයෙන් රජයට බලය ලැබිණි. කවදාක හෝ වෙනත් රජයක් බලයට පත් වන තුරු පෞද්ගලික මාධ්‍ය සඳහා නිසි බලධරයෙකු පත් කිරීමට අවශ්‍ය නොවනු ඇත. මන්ද පවතින රජය යටතේ මාධ්‍ය රජයේ අසාධාරණකම් වලට එරෙහිව හඬ නැගීමට තරම් සන්නද්ධ නොවන බව ආණ්ඩුව හොඳාකාරවම දන්නා බැවිනි.
          ඉදිරියටත්  මාධ්‍ය පොලීසියට බැන වදිනු ඇත. විපක්ෂයට බැන වදිනු ඇත. විරුද්ධ මත ධාරීන්ට බැන වදිනු ඇත. නොවැම්බර් 19 වනදා පත් කරන අළුත් කැබිනෙට්ටුවේදී තවත් ‘‘පෝල් ජෝශප් ගොබෙල්ස්’’ කෙනෙකු මාධ්‍ය ඇමති තනතුරට පත් වනු ඇත. ලංකාවේ මාධ්‍ය සොයන නිදහස සැබෑ මාධ්‍ය නිදහසට සම්පූර්ණයෙන්ම වෙනස් වූවක් බැවින් ලංකාවේ ජනතාවට හිමි විය යුතු සැබෑ නිදහස මාධ්‍ය හරහා සාක්ෂාත් වනු ඇතැයි සාක්ෂාත් කර ගැනීමට හැකි වනු ඇතැයි කිසි දිනෙක බලා පොරොත්තු විය නොහැක. එක් කෝටි අනූ පන් ලක්ෂයක් වූ මහ ජනයිනි ! ඔබට නිදහස අහිමි වී ඇතැයි ද ඔබට නිදහස අවශ්‍යව ඇතැයි එය ලබා ගත යුතුව ඇතැයි ද සිතෙන දවසක් පැමිණියහොත්, සූදානමින් සිටින්න........              

0 comments:

Post a Comment